උදෙන් ම කන්න නියම කෑම

පාන්පිටි වෙනුවට කන්න උදේ කෑම දෙකක්

  හැදෙන තරමක් ලෙඩ හැදෙන්නේ කන බොන කෑම බීම නිසා. කිසිම දවසක උදේ කෑම විදිහට පාන්, පාන්පිටි ඉඳිආප්ප, බර්ගර්, බනිස්, පොල් රොටී ආදිය කන්න එපා. ඒ වෙනුවට මේ විදිහට කන්න. දවසම නීරෝගීව ශක්තිමත්ව ඉන්න පුළුවන්.

 උදේට දියබත්…
••••••••••••••••••••••••••••••

  රෑට ඉතිරි වූ බත් ටික හොඳින් පිරිසිදුව වසා තබන්න. උදේට ඒ බත් වලට පොල්කිරි ටිකක්, ලියාගත් රතුළූණු අහුරක්, ලියාගත් අමූමිරිස් කරල් දෙකක්, කරපිංචා කොළ ටිකක් දමා මදක් රත්කර ටික වේලාවක් තබා කෑමට ගන්න. ඉතාම ගුණදායක ඇඟ සිසිල් කරන උදේ ආහාරයක්. ගිනියම් දහවලේදී ඔබට කිසිම අපත්‍යයක් වෙන්නේ නැහැ. දවස පුරාම බඩ සිසිලසින් තිබේවි. ඇඟට පුදුමාකාර ශක්තියකුත් ලැබේවි.

 පැළවූ මුං ඇට සමග ලුණු මිරිස්…
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••

  මුං ඇට තම්බලා කන එක හරිම ජනප්‍රිය උදේ කෑමක්නේ. දවසක යන්තමට පැළවීගෙන එන මුං ඇට තම්බලා කන්න. මුං ඇට තැම්බූ වතුර ටිකත් බොන්න. එය කිසිම දවසක විසි කරන්න එපා. කලින් දවසේ හවස පහට පමණ මුං ඇට දියේ දාන්න. ප්‍රමාණවත් වතුර ප්‍රමාණයක් දමා හොඳින් වසා තබන්න. පසුදා බලද්දි යන්තමට පැළවීගෙන එන මුංඇට ඔබට දැකගන්නට ලැබේවි. එම වතුර වලින්ම තම්බාගන්න. පසුව පෙරාගන්න. මුං ඇට තැම්බූ වතුර ටික වෙනම වීදුරුවකට ගෙන එය පානය කරන්න. මුං ඇට රසවත්ම ලුණු මිරිස් ටිකක්, පොල් ටිකක් සමඟ ආහාරයට ගැනීමෙනුයි. කකුල් පැලිලා, ඇස් වේලිලා දන්නට පටන්ගෙන තොල් වේලිලා දුක් විඳින උෂ්ණ රෝග රැසකට මෙය ඉතාම ගුණයි. එසේම අධික ගිනියම නිසා කොණ්ඩෙ යන අය මේ පැළවූ මුං ඇට තම්බාගත් වතුර මාසයක් පමණ බිව්වොත් හිසකේ ගැලවී යාම නවත්වාගත හැකියි.

ආසයි නේ

  මෙතරම් ගුණදායක කෑම තියාගෙනයි අපි පාන් පිටි ගිලින්නේ. ඒකනේ මේ තියෙන දුකත්. මේක ඇත්තටම අපරාධයක්. කිරිබත් හදන විට රෝස කැකුළු හෝ මාතර කැකුළු ගන්න. එයට දියේ දමාගත් මුං ඇටත් දමන්න. තැම්බීගෙන එන විට පොල්කිරි යහමින් දාන්න. බාගන්නට ටික වෙලාවකට කලින් සූරාගත් හකුරු කෝප්ප භාගයක් දමන්න. හොඳින් මිශ්‍රකර උණුසුම්ව ආහාරයට ගන්න. බලාගෙන සිටිද්දීම තරුණ වෙනවා. ගොඩක් ගිනියම් රෝග අඩුවෙනවා. ඒ වගේම බඩවැල් වල ප්‍රශ්න නිසා දුක් විඳින තත්වය අඩුවෙනවා. හොඳට ම පිටවෙනවා. දවල් එක දෙක වෙනතුරු බඩගින්න එන්නෙත් නෑ.

 

 

 

 

Published by Fragment oF Me

Thinker & Organizer

Leave a comment

Design a site like this with WordPress.com
Get started